සිරිත් මල්දම/සිරිත් මල්දම (2 කොටස)

From Wikisource
Jump to navigation Jump to search


01.

   සැමට සෙත් වඩවන
   සිරිත් මල්දම බලමින
   සිරිත් හොඳ    දැනගෙන
   මහත් යසසිරි ලබනු දෙලොවින

02.

   හොඳ නොහොඳ දෙක මය
   හොඳ නොහොඳ අයගෙන් මය
   ගඳ සුවඳ දෙක මය
   ගඳ සුවඳ එම දෙයින්වනු මය

03.

   නපුරු අය සමගින
   මිතුරු නොමවන් කිසිතැන
   රුදුරු නයි විස මෙන
   ඇසුරු නොකරනු සොඳින් දැනගෙන

04.

   තම නිවසට     පැමිණි
   සැම දෙනහට ම කුලුණෙනි
   කතා බස් කරමිනි
   අසන් තොරතුරු සුදුසු විදියෙනි

05.

   ඇනුම් පද නොකියමි
   බැනුම් කැත බස් නො කියමි
   නිකම් බස් නො කියමි
   තරම් පමණට වදන් තෙපලමි

06.

   හිසකේ කැපීම ද
   ඉන්න තැන කෙල ගැසුම ද
   නියපොතු විකීම ද
   අසුබ ලකුණුය සිතන් හැම සඳ

07.

   සිනා හඬ ලීමෙන
   කතා නොකරනු කිසි තැන
   කවට බස් කියමින
   උතුම් අය ළඟ කතා නැත ගුණ

08.

   කතා බස් කරමින
   සිටින දෙදෙනකු අතරෙන
   ගමන නොහිබී යන
   වසනු යහපති එබව දැනගෙන

09.

   උරුවන් බබා වත්
   සිව්පද කියා ගෙන වත්
   සින්දු කියමින් වත්
   ගෙවල් අසලින් යාම නොහොබිත්

10.

   යමෙකු යන එන විට
   සිනා නො ම සෙන් කිසි    විට
   පැමිණි කල     ගෙදරට
   එබී නොබලනු සැඟවී ගෙයි සිට

11.

   යමක් නො ම ඇසූ විට
   උත්තර නොදෙනු පරහට
   නුඹෙන් ඇසූ යමකට
   දෙනුව උත්තර හොඳින් සිහිකොට

12.

   ගුරුන් දෙගුරුන් වත්
   වැඩිහිටි අන් කෙනකු වත්
   කතාවක් කළහොත්
   නැඟිට උත්තර දීම යහපත්

13.

   මවු පිය දෙදෙන වත්
   තමන් ගුරුවරයින් වත්
   නුඹෙ වරද ඇසුවොත්
   නො සඟවා එය කියනු යහපත්

14. මව්පියෝ උතුම් මය

   අපගෙ පෙර දෙවිවරු මය
   අප රකිනුවෝ මය
   වඳිමු මව්පිය දෙදෙන මහිමය

15. සියලු යස ඉසුරට

   සරිලු නිසි මගපෙම් කොට
   බැබලු පිය රුවනට
   සියලු තන්හිම වඳිමු සිහිකොට

16. ගියත් ගම් රටවල

   මහත් දුක් ඇත සිත තුළ
   වඩත් දරු පෙම් බල
   අපිත් අප පිය වඳිමු හැම    කල

17. නොයෙක් කරදර විඳ

   සැපක් ගැනුමට නොම හිඳ
   දුකක් දැරු හැම සඳ
   මවක් වැනි වෙන මෙ ලොව කවරෙද

18. ලබන තුරු දස මස

   දුකින් දැරුවත් දරු කුස
   දකින තුරු තම ඇස
   කලණ මව්වරු වෙසෙත් සැප ලෙස

19. කුලුණු මෙත් වැඩුමෙන

   එරුණු, කිරි ටික පොවමින
   දරුණු දුක විඳගෙන
   තියුණු නුවණින් වැඩු පණ මෙන

20. බොලඳ බස් කියමින

   සුවඳ මල් ලෙස ඉඹිමින
   ඇඟද තෙල්    ගාමින
   පැහැද මව්වරු වැඩු හැම    දින

21. බොජුන් දී රස කර

   සොඳින් නාවා නිදි     කර
   පෙමින් සුරතල්     කර
   මවුන් වැඩු අපි වඳිමු හැම වර

22. කිය නොහැකි දුක ගෙන

   වැඩූ අප මව් පිය ගුණ
   බඹ සුර නා     විසින
   කියා නිමවනු හැකිද කෙලෙසින

23. මහලු වී සිටියත්

   රුවින් අඩු වී සිටියත්
   දුප්පත්ව සිටියත්
   දෙමව්පිය වැඳ පුදනු යහපත්

24. දෙමව්පිය කී යම්

   වැඩක් ඇතහොත් කළ යම්
   අත් නොහැර කර පෙම්
   කරනු යහපති නොකර මැලිකම්

25. දෙගුරුන් ඉදිරියේ

   උසක නොයිඳිනු සරියේ
   එන සඳ ඉදිරියේ
   නැඟිට වැඳලා සිටිනු සරියේ

26. වරද ඇති වූ විට

   දඬුවම් දෙතී පෙම් කොට
   එ ගැන මවු පිය හට
   තරහ නොවඩා යටත් වෙනු සිට

27. මවුපියන්ගේ ගුණ

   දැනෙයි නැතිවී ගිය තැන
   මෙලොව අඳුරක් වන
   මහත් විපතක් වේය දුක්    දෙන

28. ඇත නැත තම වරද

   පින් සිදු වෙන බැවින් සොඳ
   උදෑසන සවස ද
   වඳිමු මව්පිය දෙදෙන පෙම් බැඳ

29. හැදෙන විදි පෙන්වන

   නුවණ වඩවන සතරින
   සරණ දෙලොවට වන
   කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

30. මෙලොව පරලොව ගැන

   යුතු බස් කියන කුළුණෙන
   ගුරුන් වෙත බැතියෙන
   පහත් ගතියෙන් වසනු අදරින

31. ගුරුන් දැක එන සඳ

   තමන් උන් තැන නොම හිඳ
   ගමන් පෙරටුව වැඳ
   කරන් සැලකිලි අසුන් කර පුද

32. ගුරුන් සිත නොරිදනු

   කීකරුකමින් පවතිනූ
   එකට එක නොකියනූ
   සතුටු මුහුණක් නිතර පෙන්වනූ

33. ගුරුවරුන් නුඹහට

   අණක් දුන් කළ වැඩකට
   ඒ ගැන නුඹ පෙම් කොට
   කරන් ඒ දෙය කියූ විලසට

34. වරද ඇතිවූ තැන

   දඬුවම් දෙවති කුලුණෙන
   එවිට නුඹ තරහෙන
   ගුරුන් නොබලනු අවැඩ වෙයි දැන

35. තරුණ සිතකින් වත්

   කුලගොත් උඩඟුවෙන් වත්
   ඉසුරු බවකින් වත්
   ගුරුන් නොතකා ඉඳුම නොහොබිත්

36. ගුරුවරුන් සැර කොට

   නුඹෙන් සිදුවන වරදට
    දඬුවමක් දුන් විට
   ගොසින් නොකියනු ගෙදර තරහට

37. ගුරුන් ගුණ සලකනු

   අසුන්වල සම නොයිඳිනු
    සැරෙන් බස් නොකියනු
   සොඳින් කරුණා සතුට ලැබ ගනු

38. පෙමින් සත දැන ගනු

   එමෙන් තුන් දොර රැක     ගනු
    ලොවින් තුති ලැබ     ගනු
   ගුරුන් දැක වැඳ කමා කරගනු

39. දනුමැතියන් දෙන බස අහපන්නේ

   වැඩිහිටියන් දුටු විට නැමියන්නේ
    සොඳ මිතුරන් සහ දවසැරපන්නේ
   ගුරුවරයන් වෙත යටක් වෙයන්නේ

40. මවුපිය දෙදෙනට සලකාපන්නේ

   හිරිහැර කෙරුමට සිත නොම ගන්නේ
    බණිමින් පාරට පැන නුදුවන්නේ
   දවසින් දවසට දැන හැදියන්නේ

41. මහලු අයට සරදම් නොකරන්නේ

   විහිළුකමට ගල් මුල් නොගසන්නේ
    යහළු කමට ඔලගුව නා දින්නේ
   මහලු අයට කරුණා කරපන්නේ

42. මවුපිය වරදක් පිට නොකියන්නේ

   තිබුණත් වරදක් සැර    නොකරන්නේ
    උඹලගේ වරදක් ගැන    නොකියන්නේ
   ගැසුවෙත් පාරක් ගෙට    වැදියන්නේ

43. වටපිට නොබලා බස් නොකියන්නේ

   වරදට දඬුවම්     ඉවසාපන්නේ
    ගෙදරට නෑවිත් පිට     නොසිටින්නේ
   තරහට රට ගම හැර     නුදුවන්නේ

44. කඩපිල්වල තැවෙමින් නොයිඳින්නේ

   දෙරකඩවල ඉඳ කෑම     නොකන්නේ
    තොටුපළපල දැවටී     නොයිඳින්නේ
   පිටතැන්වල රෑ නිඳා     නොගන්නේ

45. රහස් කියන තැන්වලට නොයන්නේ

   දොසක් කියන විට තරහ     නොවන්නේ
    යමක් කියන විට කෑ     නොගසන්නේ
   හොඳින් කියන කල අසා     සිටින්නේ

46. පලක් නැතිව පාරෙහි නොසිටින්නේ

   දඟක් නැතිව පාරෙහ     පලයන්නේ
    බයක් ඇතුව රෑ එළි     නොබසින්නේ
   කෙනෙක් නැතුව නෑමට     නොමයන්නේ

47. නිදිමත ඇති විට කෑම නොකන්නේ

   නිදිමත නැති විට පොත්     කියවන්නේ
    කුණුකැත සිහිකොට කෑම නොකන්නේ
   යහපත සිහිකොට නින්දට යන්නේ

48. ලෙඩක් හැදුණු විට රැකී සිටින්නේ

   යමක් ඉඳුල් කර පිටට නොදෙන්නේ
    ලෙඩෙක් දැක්ක විට බයක් නොවන්නේ
   ලෙඩෙක් ඉන්න තැන දුකින් නොයින්නේ

49. ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අදින්නේ

   බඩ නෙරුමෙන් රෙදි ඇඳ නොම ගන්නේ
    හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේ
   සුදුසු තැනින් නිසි ලෙස පලයන්නේ

50. ඇඳුමට වැඩි වියදම් නොකරන්නේ

   වැඩි කොට ඇඳුමුත් ඇඳ නොම ගන්නේ
    ගමනට ගෙදරට එක නාඳින්නේ
   වයසට පමණට ඇඳුම් අඳින්නේ

51. ගේ වට කුණු ගොඩවල් නොතියන්නේ

   එළි කොට වත්ත ද සාදා     ගන්නේ
    සිහි කොට වැට කඩුලුත     බැඳපන්නේ
   හරකට ගස කොළ ඇර     නොතියන්නේ

52. ඉලපත ගෙයි එළිපිට නොතියන්නේ

   එලිපත උඩ ඉඳ කෑම නොකන්නේ
    පැන් නැති ගේ තුළ රෑ නොනිදන්නේ
   දොස ඇත ගෙයි මැද එළි ගෙනයන්නේ

53. කුණු ගොඩවල් ගෙයි මුළු නොකරන්නේ

   උදලු ඉදල් දොරකඩ නොතබන්නේ
    ඌරු කුකුළු කොටු ගෙට නෑඳන්නේ
   හුඹස් ගෙවල් ළඟ වසා දමන්නේ

54. කිලිටු ඇඳුම් එළිපිට නොතියන්නේ

   කිලිටි ඇඳුම් ගෙන බඩු     නොපිසින්නේ
    ඉරුණු ඇඳුම් අඳගෙන     නොයිදින්නේ
   විහිළු ඇඳුම් ඇඳ ගමන්     නොයන්නේ

55. ලබන්ට සැප හැම දෙන තුටු වන්නේ

   විඳින්ට හිරිහැර සතුටු     නොවන්නේ
    අනුන්ට දුක් දී තම     නොරැකෙන්නේ
   තමන්ට යුතු වැඩ සපයා     ගන්නේ

56. දුප්පත් නෑයන් සලකා පන්නේ

   පරැඬැල් විලසින් එම     නොසිතන්නේ
    සරදම් කරමින් දුරු     නොකරන්නේ
   හිඟමඟ බලමින්     සනසාපන්නේ

57. අසරණයන් දැක පිහිට වෙයන්නේ

   වැඩකරුවන් හිරිහැර     නොකරන්නේ
    දූගී මගීන් එන සනසා     දෙන්නේ
   බියවූවන් සිත බය     දුරලන්නේ

58. උසුළු විසුළුවෙන් බස් නොකියන්නේ

   වටපිට බලමින් ඉඟි     නොකරන්නේ
    කොක් හඬ පාමින් සිනහ නොවන්නේ
   කී දෙය අහමින්     දවසැරපන්නේ

59. ආගම ගැන වාදය නොකරන්නේ

   පව් හැම දුරුකර පින්     කරගන්නේ
    නිතරම සිත පිරිසිදු     කරගන්නේ
   ආගම එමයයි පඬි බස     වන්නේ

60. දෙගුරුන් කීවත් පව් නොකරන්නේ

   සතුරන් කීවත් පින්     කරපන්නේ
    කවුරුන් කීවත් විමසා     ගන්නේ
   එබැවින් යහපත් වැඩ     කරපන්නේ

61. අයුතුකමින් වැඩ නම්බු නොවන්නේ

   නම්බු ලෙසින් වැඩ සලසා ගන්නේ
    කී විලසින් වැඩ දැනුමැතියන්නේ
   කර ගනිමින් වැඩ සිදුකර ගන්නේ

62. සොඳුරු සැප වේවා

   උතුරු ගුණ වැඩි    වේවා
    මහරු බල         වේවා
   මෙදරු පෙළහට ජයක්    වේවා